ගාලු පාරේ පැය 16ක්…..

Image
ලිවීමට නම් නිමිත්තක් අවශ්‍ය ය. නැතිනම් එය නැවුම් අත්දැකීමක් විය යුතු ය. මෙය පුද්ගලානුබද්ධ අදහසක් බැවින් තරක විතර්ක කිරීම අනවශ්‍ය ය. මා මේ කීමට සැරසුනේ සෑහෙන කාලයකින් අයෙත් ලියන්නට සිතුනේ යම් සිදුවීමක් නිසා බව ය. සරසවියේ ගැටුම ලිවීමට නිමිත්තක් සැපයුවත් මම ඒ වෙනුවෙන් ලියූ දෑ මෙහි පල නොකිරීම පිළිබඳ හදවතින්ම සතුටු වෙමි.

මුදල් යනු මිනිසාට අත්‍යවශ්‍ය අංගයක් බවට දැන් පත්වී හමාර ය. සරසවියේ මිතුරන් අතර ‘සල්ලි නැතුව නිකම් පිස්සු වගේ බං’ කියනා කියමන ඉතා ජනප්‍රිය ය. මාගේ කටින් එම වැකිය පිටවී නැතැයි කියන්නේ නම් එය මුසාවකි. සරසවියේ යමෙකු මුදල් අහේනිය ගැන කිසිවක් නොපවසයි නම් එක්කෝ ඔහු යහමින් මුදල් ඇති අයෙකි, නැතිනම් තම අදහස් පිටතට නොපවසනා ඉතා ශක්තිමත් මානසික මූලධර්ම වලින් යුතු වූ අයෙකි. මම මේ දෙකොට්ටාසය ම දැක ඇත්තෙමි. මුදල් නැති වූ විට මුදල් සොයනා ක්‍රම කිහිපයක් සරසවි මිතුරන් අතර ජනප්‍රිය ය. ජනප්‍රියතම උපාය නම් උසස් පෙළ සිසුන් හට පන්ති කිරීමය. එමගින් හොඳ ගානක් මාසයකට සොයාගත හැක. නමුත් මා වැනි කම්මැලියන් එමට අප සරසවියේ පන්ති කිරීම නොකරන බොහෝ දෙනා ඇත. එවන් අය අතර ජනප්‍රිය තවත් උපාය මාර්ගයක් ඇත, එනම් ‘සර්වේ’ ය.

වසරකට කිහිප සැරයක් සරසවිය වෙත රජයේ හෝ විදේශ රට වල ව්‍යාපෘති ලෙස ‘සර්වේ’ හෙවත් ‘සමීක්ශණ’ ලැබේ. එම සමීක්ෂණ වල බිම් මට්ටමේ වැඩ (වඩාත් වැදගත්ම වැඩ ) සඳහා බොහො විට යොදා ගන්නේ සිසුන් ය. එනම් අප ය. අපට ලැබෙන්නේ එක්කෝ පාරේ වාහන ගණන් කිරීමට ය. නැතිනම් විවිධ වෙළඳ මර්මස්ථාන වල මිනිසුන් ගණන් කිරීම ට ය, එහෙත් නැතිනම් ගෙවල් වලට ගොස් යම් යම් දෑ පිළිබඳ නිවැසියන් ගේ මත දැන ගැනීමට ය. මෙ දේවල් සඳහා සැලකිය යුතු ගණනක් එක අයෙකුට ගෙවනු ලැබේ. මේ කීමට සැරසෙන්නේ මා ද සහභාගී වූ එවන් සර්වේ එකක් ගැන නීරස කතාවකි.

එය වාහන ගණින සර්වේ එකකි. උදේ 6ට අපව දෙහිවල පාලම අසලින් බැස්වූයේ සර්වේ එකට අවශ්‍ය ආම්පන්න හා ලිපිද්‍රව්‍ය ද සමග ය. වැඩි මුදලක් සෙවීම සඳහා වැඩි පැය ගණනක් කළ යුතු ය. මා එදින පැමිණියේ රෑ 10 වනතෙක් වාහන ගැණීමේ බලාපොරොත්තුවෙනි. පාරේ යන පාපැදි හැරුණු විට අන් සියලුම වාහන සමීක්ෂණයට ඇතුළත් වේ. බස් වල නම් මාර්ග අංක සමග තවත් විස්තර කිහිපයක් ම සටහන් කරගත යුතු ය. අනෙක් වාහන ගැණිය යුතු ය. ඒ සඳහා අපට ගණක(tally counters)  ලබා දේ.

මුලදී කිසියම් විනෝදයක් හා අමුතු ගතියක් තිබුණ ද ටික වේලාවක් යන විට කාර්යය එපා වේ. තවත් වේලාවක් යත්දී එය මෙලෝ රහක් නැති ක්‍රියාවක් බවට පත්වේ. කට්ට කෑවත් මුදල් ලැබෙන බැවින් වෙන විකල්පයක් නොමැත. අන්තිමට කරන්නට දෙයක් නැති කම නිසා යාන්ත්‍රික බවට පත්වේ. කට්ටියක් ටිකි ටිකි ගා tally ඔබති. තවත් කිහිප දෙනෙක් සුරු සුරු ගා බස් ලියති. ඒ අතර සුපර්වයිසර් එහාට මෙහාට දුවමින් වැඩ බලයි. කෙසේ වෙතත් පාරේ යන්නන් හට අප සර්වේ කණ්ඩායම අලුත් දසුනකි. ඔවුන් ඉතා ඕනෑ කමින් අප දෙස බලයි. කෙසේ වෙතත් අපේ බාහිර පෙනුම නම් එතරම් ප්‍රිය මනාප නොවන බව කිව යුතු ය. මන්ද යත් උදේ 4ට පමණ නැගිට මේ සඳහා දිව එන විට සමහර අවස්ථා වලදී මුහුණ කට සේදීම පවා කරන්නේ බාගෙට ය. අඳින්නේ හද්ද හම්පඩ වී ගිය පරණ ඇඳුම් ය. මාගේ නම් බුලත් විට සැපීම නිසා මුලු කටම රත් පැහැ වී ඇත. තවත් කිහිපදෙනෙකුගේ ද එසේම ය. පාරේ යන්නන් අප වෙත හෙලන බැලුම් දකින විට සමහර විට රුපියලක් හෝ දෙකක් අප වෙත දමා යාවිදෝ කියා විටෙක සිතේ. නමුත් ඔවුන් ජැන්ඩියට හැඳ පැලැඳගෙන යන්නේ ද, අප පාර අයිනේ වාහන ගණිමින් කරන්නේ ද එකම දේ පස්සේ හඹා යෑම බව ඔවුන්ට නොතේරෙන සෙයකි. අප සියලු දෙනාම එකම දාම් ලෑල්ලක වෙනත් ඉත්තන් බව ඔවුන්ට නොතේරෙන සෙයකි.

උදෑසන රැකියා වලට යෑමට පාර අසලින් යන අයගේ ඇඳුම් ඉතා අගනේ ය. මනාව පිළිවෙල වී ඇත. වැඩිමනත් ම කාන්තා පාර්ශවය ය. අඩි උස සපත්තු දමා ටයිට් ස්කර්ට් එක ඇඳ කාර්යාල ඇඳුමෙන් සැරසී යන පියකරු ළඳුන් ඒකාකාරී දර්ශනයේන් සෝමාරි වී ගිය අපගේ දෙනෙත් වලට සිසිලසක් ගෙනදේ. නමුත් ඔවුන් තුළ ඇත්තේ මහා උජාරුවකි. හරියට මුලු ලෝකෙම දුවවන්නේ ඔවුන් විසින් වැනි ය. අප වෙත හෙළන්නේ යාචකයින් දෙසට හෙලනා කෂඩ බැලුම් ය. සමහරු කවලං ඉන්ගිරිසියෙන් ෆෝන් එකෙන් කතා කර කර යයි. ඔවුන් දකිනා විට මාගේ සිතේ ඇතිවන සිතිවිලි නොපැහැදිලි ය. උදේ වරුවේදී කොළඹ දෙසට යන වාහන ප්‍රවාහය අති විශාල ය. බස් රථ සටහන් කරන්නාට නිවනක් නැත. ඇත්තටම එය නම් පූරුවේ කරුමයකි. Tally වලින් ටිකි ටිකි ගානා අපගේ අතැඟිලිද හිරි වැටී ඇත. නමුත් ටික ටික දවාල වන විට වාහන ප්‍රවාහය කෙමෙන් අඩුවේ. දහවල් 12ත් 1ත් අතර වාහන ප්‍රවාහය විශාල ලෙස අඩුවේ.

යුද්ධය පටන් ගන්නේ 1න් පසුව ය. වෑන් රථ වලින් පාර පිරී යයි. බස් රථ ද එමට ය. පාසල් ඇරෙන වේලාව එයට හේතුව බව නොකිවමනාය. බස් රථ වල සෙනග ප්‍රමාණය ගැනද අමුතුවෙන් කිව යුතු නැත. ඒ අතර අප ඉදිරියෙන් බෑග් මලු එල්ල ගත් පාසල් ළමුන් එහා මෙහා යයි. අප දෙස හොඳට බලයි. ඔවුන් නම් අප දෙස බලන්නේ ඉතාමත් කුහුලින් යුතුව ය. වරෙක එකෙක් හෝ දෙදෙනෙක් අප කරන්නේ මොනවාදැයි අසයි. ගැහැණු ළමුන් නම් යන්නේ උජාරුවෙනි. නමුත් එම උජාරුව ඉහත කියන ලද උජාරුව මෙන් නොව, එය සිනහ උපදවන උජාරුවකි. අපද ඒ කාලය පසු කොට වැඩි කලක් නොවන නිසා ඒවාට හිනා යයි. අමාරුවෙන් පොත් බෑග් එල්ලගෙන, අපහසුවෙන් එහා මෙහා ගියත් පාසල් කාලය තරම් සොඳුරු කාලයක් තවත් නැත. ප්‍රශ්න නැත. ප්‍රශ්න ඇතත් දැන් හා සසඳ බලන විට ඒවාට ප්‍රශ්න යැයි කිව නොහැක. කෙසේ හෝ වේවා අපට වූවාක් මෙන් ඔවුන්ටද නොබෝ කලකින් ම පාසල් ජීවිතයෙන් සමුගැනීමට සිදුවනු ඇත. එවිට සමාජයේ ඇති සියලුම කටුකත්වයන්, වේදනාවන්, සංතාපයන් ඔවුන්ගේ ජීවිත හා ගැටෙනු ඇත. සාහසිකත්වය යනු එයයි. ඒ සාහසිකත්වය අපව ගිලගත්තාක් මෙන් ඔවුන්ව ද ගිලගනු ඇත. කෙසේ හෝ වේවා සිහින ලෝකයෙන් ඉවත්ව නැවතත් වාහන ගැණිය යුතු ය.

2න් පසුව ආපසු වාහන ප්‍රවාහය සාමාන්‍ය තත්වයට පත්වෙයි. එනමුදු ගිනි අව්ව දෑස් අන්ධ කරවන සුලු ය. අපි සෙවනක් සොයා ගත්තෙමු. මේ අතර දෙදෙනා බැගින් දිවා ආහාරය සඳහා යයි. මේ වා හන ප්‍රවාහය අතරේ වරින් වර අත් ට්‍රැක්ටර් ද යයි, එසේම එළවලු කරත්තද තල්ලු කරගෙන යයි. මූදේ බලයන් කෙලවල්ලන්, තල්මසුන් මෙන්ම කූනිස්සන් ද ඇත. කූනිස්සන් වඳවී ගියහොත් අනෙක් මාලුද නොබෝ කලකින්ම වඳවී යනු ඇත. අන්‍යෝන්‍ය පැවත්ම යනු එයයි. සවස 4 පසුවන විට නැවතත් පාරේ වාහන වැඩි වේ. කොළඹ දෙසට නොව ඒ ගාල්ල දෙසටය. කාර්යාල වේලාව අහවර වීමත් සමගම සෙනග බුරුතු පිටින් කොළඹින් පිටව යයි. බස් රථ විනාඩියෙන් විනාඩියට අප පසුකර යයි. මාර්ග අංක 2, 32, 400, 400/1, 102/256, 154, 155, 100, 101 මේවා දැන් කට පාඩම් ය. සවස 5 පසු පාර අරක් ගත්තේ කාර් රථ විසිනි. විවිධ වර්ගයේ නානාප්‍රකාර කාර් රථ වේගයෙන් අප පසු කර යයි. ගැනීමට තබා සිතීමටවත් නොහැකි සුඛෝපභෝගී කාර් ඒ අතර වෙයි. 5 සිට 6 දක්වා කාර් පමණක් 1500කට වඩා අප ඉදිරියෙන් ගොස් ඇත. මේ වාහන කොහෙන්ද එන්නේ, කොහෙටද යන්නේ, ඇයි ඒ වාහන වල යන මිනිස්සු වට පිට නොබලා ඉස්සරහම බලන් යන්නේ….. මට ‘Matrix’ සිනමා සිත්තම සිහිවෙයි.

උදෑසන රාජකාරි වලට ගිය මිහිබට සුරඟනන් බඳු ළඳුන් ආපසු ගමනේදී ද අප ඉදිරියෙන් යයි. උදෑසන තිබූ ප්‍රියමනාප බව මුහුනේ දැන් නැත. මේකප් දියවී ගොස් ඇති සේය. විඩාබරින් හෙම්බත්වී මිරිකී ගොස් ඇත. තමුන් පසුකර යන කාර් දෙස ඔවුන්ද හොඳින් බලයි. කාර් එකක් ගතහොත් හෝ සල්ලිකාර පෙම්වතෙක් සොයා ගතහොත් ඔවුන්ගේ සියලුම ප්‍රශ්න විසඳෙන බව ඔවුන් සිතනවා වැනිය. මා හට ‘බයිසිකලය’ කෙටි කතාවේ ‘සියදෝරිස්’ සිහිවෙයි. දැන් මෙසේ හෙම්බත්වී ගියත් හෙට දින ආපසු ඔවුන් අද උදෑසන සේම ජැන්ඩියට හැඳ පැළඳ රාජකාරි සඳහා යනු ඇත. එසේම හෙට සවස ද මෙලෙසම හෙම්බත්ව නැවතත් එනු ඇත. අප කොළඹම වෙනත් තැනෙක වාහන ගණිමින් සිටිනු ඇත. මේ අපගේ ජීවිතයි. අපට නැතිවීමට බොහෝ දේ අප සතුව ඇත. එම නිසා අපට නිදහස කියා දෙයක් නොමැත. Fight Club යනු ඉස්තරම් සිනමා සිත්තමකි. එය නැරඹීමට වඩා දෙයක් කළ හැකිද…..?

රෑ 7න් පමණ පසුව පාරේ වාහන ප්‍රවාහය අඩුවී යයි. බස් රථ පැමිණෙන්නේ කලාතුරකිනි. ත්‍රීරොද රථ නම් තාම පාර පුරා යයි. ඔවුන්ගේ දවස ඉවර වීමට තව බොහෝ වේලාවක් ඇති බව පෙනෙයි. රෑ 8න් පමණ පසුව අපට වැඩි කාර්යයක් ඉතුරු වූයේ නැත. එහෙත් අපගේ වැඩමුරය තවමත් ඉවර නැත. දුහුවිල්ලෙන් මුලු සිරුරම වැසී ගොස් ඇත. ඇස් දෙක විඩාවෙන් හෙම්බත්වී රිදුම් දෙයි. මා හැඳ සිටි අලු පැහැති කමිසය දුඹුරු පාට ගැසී ඇත. සිටගෙන සිටීම නිසා කකුල් ඇදුම් දෙයි. පැය 16ක් එක දිගට අප පාර බලාගෙන සිට ඇත. වෙනදා බස් රථයක් විනාඩි 5ක් ප්‍රමාද වන විට නොඉවසිලිමත් වන මා අද බස් රථ දහසකට වඩා මා පසුකර යන තුරු පාර බලන් සිට ඇත. අවශ්‍යාතාවය දැඩි වූ විට මිනිසාට කල නොහැක්කක් නොමැත. මනුසත් බව අතැර පැය කිහිපයකට යන්ත්‍රයක් බවට වුවද පත්විය හැක. මිනිසා යනු එතරම් සාහසිකයෙකි.

රෑ 10ට අපි නැවතත් ඒමට පිටත්වුනෙමු……

Advertisements

මා දුටු සුනාමිය….

ගොඩාක් කාලෙකට පස්සෙ ආයිත් පෝස්ට් එකක් දාන්න හිතුනේ නිකම්ම මත් නෙවෙයි. අපි ඉතින් හැමදාම එකම විදියට අවුරුදු කන මිනිස්සුනේ. අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙන්නේ ඉතින් ජය වර්ණයි, වෙලාවයි විතරයි නේ ඇත්තම කිව්වොත්. හැබැයි මේ අවුරුද්දේ නම් තව පොඩ්ඩෙන් ඔක්කොම කණපිට පෙරළෙනවා.

වෙනදා වගේම අවුරුද්දට දවස් දෙකක් තියල ටී ෂර්ට් කෑල්ලක් අරගන්න කියල ගාලු ගියේ හද්ද කම්මැලිකමේ. අමාරුවෙන් තෝරල එකක් අරගෙන කඩෙන් එලියට බැස්සා විතරයි කවුදෝ සුනාමි කතාවක් කියනවා ඇහුනා. ‘මිනිහා’ කියන්නේ පුදුම කුතුහලයක් තියෙන ජාතියක් නේ. මමත් ඉතින් ෆෝන් එකෙන් twitter එකට ලොග් වෙලා බැලුවා. හත්තිලව්වයි, 8.9ක එකක් වෙලා ඉන්දුනීසියාවෙ මූදෙ. ඉන්දුනීසියාවට අනතුරු අඟවලලු, අපිට තාම නැතිලු. හවස රිච්මන්ඩ්-මහින්ද වන් ඩේ එක බලන්න යන්න හිටියේ. අවුලක් වෙන එකක් නෑ කියල හිතල ටවුන් එක පැත්තටම ගියා මමත්. හැබැයි ඒ වෙනකොටත් මිනිස්සු දුරින් දුරින් අඩි තිය තිය ටවුන් එක පැත්තෙන් එලියට යනවා. වැඩි වෙලාවක් යන්න ලැබුනේ නෑ, එකපාරටම මිනිස්සු දුවන්න ගත්තා. ඒ එක්කම වාහනත් එක පොදියක් වගේ ඒ පැතතටම යන්න ගත්තා. භූමිකම්පාව වෙලා ඕනම නම් පැය භාගයක් යන්න ඇති, ඇරත් තාම අනතුරු අඟවපු කතාවකුත් නෑ. ඒත් මිනිස්සු දුවනවා පිස්සු හැදිලා වගේ. දිව්වට ඔක්කොම වගේ දුවන්නේ එක තැන, තද බදේ නිසා.

හරි යන්නේ නෑ, මම ටිකක් පැත්තකට වෙලා බලාගෙන හිටියා. දැන් කාලේ තාක්ෂණේ එහෙම ගොඩාක් දියුණුයි නේ මිනිස්සු හැමෝම ෆෝන් කනේ තියාගෙන කෝල් ගන්න ට්‍රයි කරනවා , වැඩක් නෑ ඒ උනාට එමර්ජන්සියක්දි ලංකාවේ නෙට්වර්ක් ගැන කතා කරලා. මලාට කෝල් එකක් ගන්න බෑ. සමහරු ෆෝන් වලට ගහනවා, අයියෝ සල්ලි. හැබැයි මැසේජ් නම් එනව. මමත් ෆෝන් එක අරගෙන ආපු මැසේජ් ටික බැලුවා. පරණ යාලුවො ගොඩාක් අයට මතක් වෙලා මාව.

“machn tsunami case ekak thiyenawa, poddak parissan weyan”

“ane me, earthquake ekak welalu, apitath danuna puluwan tharam ikmanin muden ath wenna”

ඔය වගේ ඒවා ගොඩාක් එවල තිබුණා. ඒ අතරේ ලඟින්ම ආස්‍රය කරන එකෙක් මෙහෙමත් එවල තිබුනා.

“ado me, onna tsunamiyak enawalu, uba tak gaala muhuda langa thanakata palayan, berenna nam epa ahuwela mariyan honde. mama dawas 7ma nyt gahanawa mala gedara.”

තව එවලා තිබුනා. ඒ වුනාට ඒ එකකවත් තිබුනේ නෑ ‘කලබල වෙන්න එපා’ කියලා . ඔන්න ඕක තමයි හැමෝටම අමතක වෙන්නේ. ඒ අතරින් තෝර ගනිපු කීප දෙනෙකුට ආයිත් reply කරා ‘ටවුන් එකේ හිරවෙලා ඉන්නේ’ කියලා. සමහරුන්ට නම් ඒවා විහිලු. කොහොමත් ඉතින් උඩරට සමහර අයට මුහුද ගැන වැඩි අවබෝධයක් නෑ නේ. මොනව කරන්නද.

ඒ අතරේ යාලුවො දෙන්නෙකුත් හම්බුනා අහම්බෙන්. වැල්ලෙයි, විරාජුයි. කොහොම හරි අනතුරු ඇඟවීමකුත් නිකුත් කරලලු. ඒ උනාට ගාල්ලේ හයි කරල තිබුණ අනතුරු හැඟවීමේ නලාව නම් සද්ද් උනේ නෑ ඒ වෙලාවේ. එක පාරක් සුනාමි ආව 2004. එතකොට තමයි ඕවා හයි කරේ. තව සුනාමියක් එන්න ඕන ඒව වැඩ කරන්නේ නැති බව තෙරුම් ගන්න. ආසියාවේ ආශ්චර්යය.
ඉතින් අපිත් ටික ටික රට ඇතුළට යන්න පටන් ගත්ත. ඇස් පනා පිටම වාහන දෙක තුනක් ම හැප්පුනා. අවුලක් නෑ, කවුරුවත් බැනගත්තේ වත් ඉන්සුවරන්ස් කෝල් කරේවත් නෑ.මුකුත් උනේ නෑ වගේ ගියා. කොහොමින් කොහොම හරි අපිත් සෑහෙන දුරක් ඇතුළට ආවා.

දැන් තමයි මිනිස්සු කතා කියන්නේ.

“ඒ, හැතැක්ම දෙකක් යනකම් ඇතුළට යන්න ඔනලු, කලේගානට යනකම් එනවලු”
කොහේ යන්නද එච්චර දුර, මෙහෙන් ගියොත් අරෙහෙන් මුහුදට ලඟයි. අරෙහෙන් ගියොත් මෙහෙන් මුහුදට ලඟයි. ලංකාව ඍජුකෝණාස්‍රයක් වගේ නම් කමක් නෑ, හරියට මැනල ඇතුළට යන්න තිබුනා. මේක නිකම් අඹ ගෙඩියක ශේප් එකක් තියෙන රටක් නේ. කොහේ යන්නද. මුන්ට පිස්සු.

“මට අද හිතුනා මොකක් හරි අවුලක් ඇති කියල මුහුදේ, උදේ ඉඳන් මූද සැරයි.” මෙහෙම දෙතුන් දෙනෙක් හිටියනම් ලංකාවම ගොඩ. මොනව නැතත් කතන්දර නම් කියයි.

අපි කොහොමින් කොහොම හරි අන්තිමට රිච්මන්ඩ් එකට ආවා. කන්ද මුදුනට මුහුද පේනවා හොදට.

“මචං, අඩු ගානේ 4 වෙනකොටවත් ට්‍රිංකො වලට සුනාමි එන්න ඕනලු එනවනම්, 4යි 10 වෙත්දි මෙහෙට එනවලු” කවුද කිව්වා. බලාගෙන හිටිය 4යි 20 වෙනකම්, ආවෙ නෑ. තව පොඩ්ඩක් බැලුව, මොකද මෙහේ කෝච්චි එහෙමත් ටිකක් වෙලාවට වැඩ කරනව හොරයි නේ. එන පාටක් නෑ.
ටික වෙලාවකින් ආරන්චිය ආව අනතුරු ඇඟවීම අයින් කරල කියලා.

හොඳ වෙලාවට සුනාමි ආවේ නෑ. මම තවත් ටිකක් වෙලා ඉඳලා ගෙදර ගියා.

ඔය අතරේ අපේ සමහර කොල්ලොන්ට නම් සුනාමි ආව, ඒ කතා ඉතින් අවසර නැතුව කියන්න බෑ.

නවතින්නම් !

අපව හැමදාමත් රවටනු ලැබිණි….

පොඩි කාලේ අපි හැමෝටම ඕන වුනේ ඉක්මනට ලොකු වෙන්න. ඉස්කෝලෙ යන කාලේ අපිට හිතුනේ ඉස‍්කෝලෙ යන එක මහ වදයක් කියල. ඒත් දැන් තමයි හිතෙන්නේ අපිට හැමදාම ඉස්කෝලෙ යන්න තිබුණ නම් කියල. ඒ වගේම ළමා කාලය කොයිතරම් සුන්දර ද කියල. ඒ සුන්දරත්වය ගැන කල්පනා කරමින් ඉන්නකොට තවත් පැත්තක් මම දැක්ක, ඒ එතරම් සුන්දර දෙයක් නෙවෙයි. අපි කොයිතරම් රැවටීමට ලක් වෙලා තියෙන්වද. නන්නාදුනන අය නෙවෙයි, අපි හොදටම දන්න අයම තමයි අපිව රවට්ටල තියෙන්නේ…..දුකයි.

ඉස්කෝලෙ යන කාලේ අපිට මුහුණ දෙන්න වෙන මුල්ම ලොකු විභාගය තමයි ශිෂ්‍යත්වය. අපිට ඒ කාලේ කිව්වෙ ශිෂ්‍යත්වෙ තරම් ලොකු විභාගයක් තවත් නෑ කියල. අපිටත් හිතුනෙ එහෙමයි කියපු විදියට. අපිට ටියුෂන් පෙව්ව, රහයි කියල හිතාගෙන අපිත් බිව්ව තිත්ත වුණාට. ඒක ඉවර වෙලා ටික කාලයක් යනකොට තමයි තේරුණේ ශිෂ්‍යත්වෙ කියන්නේ ‍මොකක්ද කියල. ඒත් අපිට තේරුණේ නෑ අපිට කිවවේ බොරු නේද කියල. ඊට පස්සේ ටික කාලයක් යනකොට ආව සා/පෙළ, එතකොට අපිට කිව්වේ ජීවිතයේ වැඩිම විශයන් ගණනක් තියෙන විභාගය ඒක, ඒක නිසා හොදටම කරන්න ඕන කියල. අපිව යවන්න පුලුවන් හැම පන්තියකටම දැක්කුව. අපිත් සෑහෙන්න මහන්සි වෙලා පාඩම් කරා. කොහොම හරි අන්තිමට ඒකත් ඉවර වුණා. ඊට පස්සේ තමයි උසස් පෙළ. මාසයක් උසස් පෙළ කරනකොට තමයි තේරුණේ එක පාඩමක් සාමාන්‍ය පෙළ මුලු සිලබස් එකටම වඩා ලොකුයි නේද කියල. අපිට හැමෝම කිවවේ ලෝකෙ අමාරුම විභාගෙ උ/පෙළ තමයි කියල. මුල ඉදන්ම වැඩ කරේ නැත්නම් විභාගේ ෆේල්, එතකොට ජීවිතේම අදුරුයි කියල. ඒ වගේම ඒ විභාගේ හොදට කරගත්තොත් විශ්ව විද්‍යාලයට යන්න පුලුවන්, විශ්ව විද්‍යලය කියන්නේ හරිම සුන්දර තැනක්, එහේ තියෙන විභාග හරිම ලේසියි, කිසිම ප්‍රශ්නයක් නෑ ඊට පස්සේ කියලත් අපිට කිව්ව. ඉතින් අපිත් හිතුව මේ නම් කියන්නේ ඇත්ත තමයි, මේක ගොඩ දා ගත්තෝ ගොඩම තමයි කියල ඒකත් කරා. කොහොම හරි විභාගේ පාස් වෙලා කැම්පස් ආවා.

කැම්පස් ඇවිල්ල ටික දවසයි ගියේ, දැන් තමයි තේරෙන්නේ කොයිතරම් වැඩ කන්දරාවක් කරන්න කියෙනවද කියල දවසකට. උසස් පෙළ කාලේ සතියකට කරපු වැඩ දවසකට කරන්න වෙනව. අයියල කියනව උසස් පෙළ මාස ගණන් උගන්නපුවා පැය දෙකේ ලෙක්චර් එකට කරනව කියල. ඇහුවත් පිස්සු වගේ…ඒත් ඉතින් බැදගත්තු‍ බෙරේ ගහපන්කෝ.

ඉතින් මෙහෙම බලන් යනකොට පේනනේ නැද්ද අපිව හැමදාම රවට්ටලා කියල. ඒ රැවටීම අපේම හොදට කියල කාටහරි කියන්න පුලුවන්. ඒත් ඇයි හොද දෙයක් උදෙසා අපිව රවට්ටන්නේ? ඇයි ඇත්ත ඇති සැටියෙන් කියන්නේ නැතුව බොරු කියන්නේ? හැම අම්මට තාත්තටම ඕන තමුන්ගේ ළමයව දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් කරන්න. ඒත් ඒ ළමයට ඕන ඡායාරූප ශිල්පියෙක් වෙන්න නම්, නැත්නම් වෙන කවුරු හරි වෙන්න නම් ඒ කරන ‍දේ හරි ද? ඒක ඒ ළමයට කරන අසාධාරණයක්, ඒ වගේම මුළු ලෝකයටම කරන අසාධාරණයක්.

මට මතකයි උසස් පෙළ පන්තියක සර් කෙනෙක් ටියුට් එකක ගහල දීපු කවියක්

“මලිති බටිත්තා ගී නොගයන්නේ නම් මම කුමක් කරමිද?
ඌව මරා දැමිය හැක
ඒත් ඉන් පලක් නැත…මන්ද
වසන්තය ආ කල කුරුල්ලන් ගී ගයනා පව මම දනිමි…”

මම බලන් ඉනනේ ඒ වසන්තය එනකම්, මලිති බටිත්තා ගී ගයනකම්……ඒ වගේම මට මතකයි මොකක් හරි ෆිල්ම් එකක කවුරුහරි කියපු කතාවක්

“Do what you want, be what you want, otherwise one day you will become an old man waiting for death with a heart filled with regrets…”  අපිටත් එහෙම වෙයිද…?

ආදරණීය චේ…….,

ආදරණීය චේ…,

උඹව ආජන්ටිනාවෙන් කියුබාවටත්
කියුබාවෙන් බොලිවියාවටත්
ගෙනගිය
උඹේ ඇගේ දුවපු
ඒ උණුසුම් රුධිරය ඇගේ දුවන……

ලෝකෙ කොහේ හරි
අහිංසක මිනිහෙක්
කලු යකඩ සපත්තුවට යට වෙලා
මියයනකොට
අසීමාන්තිකව දුක් වුනු
උඹේ ඒ හදවත වගේ හදවතක් තියෙන…..

තවත් එක මිනිහෙක් හරි
උන්ගේ කලු යකඩ සපත්තුවට විරුද්ධව
නැගී සිටින දවසට
අන්න ඒ දවසට
මමත් යනව
මේ සියල්ලම අතහැරලා…,

උඹේ ඒ නොනිමි මෙහෙවර ඉටුකරන්න……..

 

මම ඔයාට ආදරෙයි……ඒත්,

මම ඔයාට ආදරෙයි,

ඒත් ඔයා හිතන් ඉන්නේ මේ ලෝකෙ කියන්නේ සූකිරි කදු වලින් පිරුණු,
කිරි ගංගා ගලා යන තැනක් කියලා.
ඒක එහෙම නෙවෙයි කියල, කියල දෙන්න මම කොච්චර මහන්සි වුනාද….,
ඒත් ඔයා තේරුම් ගත්තේ නෑ.

ඔයා දන්නේ ඔයාගෙ කාමරේ සදලුතලයෙ ඉදන් බැලුවම පේන…
සුර ලෝකය විතරයි.
ඒත්, ඒ ලෝකයට යටින් ඉන්නේ,
ගල් බොරලු, පස්, යකඩ වලින් හැදුනු…
අනන්ත දුක් විදින මිනිස්සු…

මම ඔයාට ආදරෙයි…
ඒකයි මම ඈත්වෙලා යන්නේ,
ඔයාට කවදහරි සමහරවිට තේරෙයි මම කරේ හරිම දේ කියල…
මම ගියාම ඔයාට ගොඩාක් පාලුව, තනිකම දැනේවි..
හදවත වේදනා දෙවි..

සීත සෘතුව ඒවි….
සැඩ කුරිරු  හිම කුණාටු හමාවි,
ඔයාට උණුසුම දෙන්න, ඔයාව තුරුල් කරගන්න කෙනෙක් නැතිවේවි..
ඒත් ඊට පස්සේ වසන්තය එනවා,
සත්තයි…

ගොඩක් කාලෙකට පස්සේ,
ඒ වසන්තයේ දවසක,
මම ඔයා හොයාගෙන එන්නම්,
දෙපයින් හරි,
කරමතින් හරි…..

මම හිතනව ඔයා බලාව ඉදීවි කියල…
මොකද,

ඔයත් මට ආදරේ නිසා…..

 

 

 

 

 

 

 

තරුණ පරම්පරාව පට්ටි ගොන්නු කිරීමේ ආශ්චර්ය…

පහත දක්වා ඇත්තේ මේ රටේ වැදගත් තුමෙක් එක්තරා හමුදා කදවුරක-නායකත්ව පුහුණුව පළමු අදියර දී කියන ලද කතාවකි.

“මම යෞවන කටයුතු අමාත්‍යවරයා විදියට ඉන්න කාලේ මට ඕන උනා ලෝක රූ රැජීණ කිරුල ලංකාවට ගේන්න. මම ඒකට යෝජනාවක් කරා; අපේ රටේ ලස්සන කෙල්ලො ‍ඉන්නවා, ඒ වගේම ගොඩක් කඩවසම් කොල්ලොත් ඉන්නව. ඉතින් මේ කට්ටිය එකතු කරල එයාලට හොදට පෝෂණය එහෙම දීලා, ඒ ලස්සන කොල්ලෝ-කෙල්ලෝ අතර විවාහ සිදු කරවනවා. එතකොට එයාලට ලැබෙන ගැහැණු දරුවො ඉතාම ලස්සන අය බව පැහැදිලියි. ඉතින් ඒ අයගෙන් අපිට ඊලග පරම්පරාවෙදි ලෝක රූ රැජිණ කිරුල ලංකාවට ගේන්න පුළුවන්.

ඒත් අවාසනාවට කවුරුවත් මගේ යෝජනාවට එකග වුනේ නෑ”

ඇත්ත වශයෙන්ම මෙය ඉතාම මනස්කාන්ත යොජනාවකි. ලංකාවේ ප්‍රසිද්ධ ගොවිපළවල් වලද හොද කිරි එළදෙනුන් හා හොද සවි ශක්තිය ඇති පට්ටි ගොනුන් තෝරා පට්ටි දම්මවති. එවිට සවිශක්තිය ඇති හොද කිරි එළදෙනුන් බිහි.

තුමා ද මේ ආකාරයට බිහිවූයේ දැයි මට සැක සහිතය.

කෙසේ හෝ වේවා මෙවැනි අදහස් පහළවන උත්තමයන් සිටින රටක ඉපදීමට අපි අප්‍රමාණ ලෙස පින් කර ඇත්තෙමු. ආයිශ්චර්ය කරා යන ගමනේදී මෙ‍ම තීරණ ඉතාම කෲෂල් ය.

අප සැමට සුභ අනාගතයක්..!

මග කියනවා නේද…..?

පරපුරෙන් පරපුරට

ගලා ගිය දිය දහර

නතර වී ඇත සබඳ

මහ පවුර නිසාවෙන්

 

මිනි සත්තු ගල් තුළට

වහලුන් ද වැඩ බිම ට

ඉන් පසුව ලෝකයට

පෙරලුනේ ඉබේමැයි

 

අරුම ලෙස අද දවස

දිය දහර නැවත ඇත

මහ පවුර අභිමුඛව

තනලමින් මහ අවුල

 

මහා ජල කඳක් වුව

නැති නිසා සුසැදි බව

පල් වෙමින් ඇත එතැන

ගඳ ගසයි මුලු ලොවම

 

ජල තලය කැළඹේවි

පතුල රත් වන කල්හි

කුලුණු ඇද වැටෙනු ඇත

සොයුර නොම බිය වන්න

 

මහ පවුර අවැසි නැත

තවත් කල් පවතින්න

යා යුතුය දිය දහර

පෙර පරිදි ඉදිරියට

 

ඉදින් ඒ මහ පවුර

බිඳීමට යන දවස

කඳු තරම් උසක සිට

මග කියනවා නේද…..?